මිනිසා සඳ තරණය කොට 2021 ජූලි 20 වන දිනට වසර 52ක් සැපිරිණි.
එම සඳ තරණයට සම්බන්ධ මෙහෙයුමේ සිටි කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සඳ තරණ මෙහෙයුමට මෙන්ම අභ්‍යවකාශ ක්ෂේත්රයට සිදුකල කාර්යභාරය සහ අභ්‍යකාශ නීතිය සම්පාදනය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රකට නීතිඥයකු වන නන්දසිරි ජසෙන්තුලියන මහතාගේ දායකත්වය පිළිබඳව SBS සිංහල සේවය කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා සමග සිදුකල විශේෂ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කර තිබේ.
Highlights
- ප්‍රථම සඳ ගමනේදී සඳෙන් ගෙනා පාෂාණ සහ පස් පරීක්ෂා කළ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා කටයුතු කළේය.
- ජීවයේ සම්භවයට පාදක වුණු DNA සහ RNA අනු නිර්මාණය වී ඇත්තේ තවත් මූලික සංඝටක 5 කින් බවට ප්‍රවාදයක් ඉදිරිපත් කරමින් ද මහාචාර්ය පොන්නම්පෙරුම මහතා කීර්තියට පත්විය.
- අභ්‍යකාශ නීතිය සම්පාදනය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රකට නීතිඥයකු වන නන්දසිරි ජසෙන්තුලියන මහතා විශාල දායකත්වයක් සපයා තිබේ.
සඳ තරණය සහ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම
වසර 1969 ජූලි 20 වන දින ඇමෙරිකානු අභ්‍යවකාශගාමීන් වන Neil Armstrong සහ ඔහුගේ සගයින් සඳ මතට පා තැබීය.
Apollo 11 යන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු මෙම ඓතිහාසික ගමනට Neil Armstrong සමග Michael Collins සහ Buzz Aldrin යන අභ්‍යවකාශගාමීන් දෙදෙනාද සහභාගී වූහ.
ඔවුහු කිලෝ ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක චන්ද්‍ර පාෂාණ, සඳෙහි පස් සහ දුහුවිලි පෘථිවියට රැගෙන පැමිණියහ.
ඒවා NASA පර්යේෂණ ආයතනය තුළ නොයෙක් ජෛව රසායන පර්යේෂණ සඳහා භාජනය කරනු ලැබීය.
එම පර්යේෂණ කටයුතු සිදුකළ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා කටයුතු කළ බව කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
ඒ හරහා මහාචාර්ය පොන්නම්පෙරුම මහතා ජාත්‍යන්තරව විශාල කීර්තියකට පාත්‍ර වුණු බවද ඔහු සඳහන් කළේය.
Professor Cyril Ponnamperuma Source: Getty Images
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම සම්බන්ධ වූ වෙනත් පර්යේෂණ
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා ජීවයේ සම්භවය පිළිබඳ එක්තරා ප්‍රවාදයක නිර්මාතෘවරයා ලෙස හැඳින්වෙන බව ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
ඔහු NASA ආයතනයේ Ames නැමැති පර්යේෂණාගාරයේ කටයුතු කරමින් ජීවයේ සම්භවයට පාදක වුණු DNA සහ RNA අනු නිර්මාණය වී ඇත්තේ තවත් මූලික සංඝටක 5 කින් බවට ප්‍රවාදයක් ඉදිරිපත් කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙම ප්‍රවාදය ජීවයේ සම්භවය පිළිබඳ රසායනික පරිණාමය පිළිබඳ සිද්ධාන්තයේ ඉතාමත් සුවිශේෂී ආරම්භයක් සටහන් කළ බවද පනාවැන්න මහතා පැවසීය.
මෙම ප්‍රවාදය ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කෙරුණු බවද පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
ජීවයේ සම්භවය තමන් ඉදිරිපත් කළ ප්‍රවාදයේ පරිදි සිදුවූ බවට මහාචාර්ය පොන්නම්පෙරුම මහතා ඉතා දැඩිව විශ්වාස කළ බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් ඔහු සෑම ස්ථානයකදීම අවධාරණය කර සිටි බව වාර්තා වේ.
අජීවී මූල ද්‍රව්‍ය භාවිතා කරමින් අනාගතයේ යම් දිනයක ජීවියෙක් නිර්මාණය කිරීමට හැකි වෙතැයි මහාචාර්ය පොන්නම්පෙරුම මහතා පැවසූ බවද ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඒ සමග මෙම මතයට ප්‍රති විරුද්ධ මතයක් ලෙස ජීවයේ සම්භවය පෘථිවිය මත නොව අභ්‍යවකාශයේ වෙනත් පරිසරයක සිදුවී පෘථිවියට පැමිණි බවද මතයක් ඉදිරිපත් කෙරුණි.
1974 වසරේ දී Fred Hoyle නැමති ලෝක පූජිත විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළ එම සංකල්පය Panspermia නමින් හැඳින්විය.
Fred Hoyle සමග පර්යේෂණ කටයුතු කළ අනෙක් විද්‍යාඥයා වන්නේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ බව ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
Professor Cyril Ponnamperuma Source: Getty Images
මහාචාර්ය පොන්නම්පෙරුම ලංකාවේදී සිදුකළ කාර්යයන්
කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පළමු අධ්යක්ෂ ජනරාල්වරයා වන්නේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා බව එහි වත්මන් අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා පැවසීය.
එතුමා 1984 සිට 1987 දක්වා වසර තුනක කාලයක් කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විද්‍යා උපදේශක ලෙසද මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා කටයුතු කර ඇත.
ඊට අමතරව 1984 සිට 1991 දක්වා ස්වභාවික විද්‍යා පිළිබඳ පර්යේෂණ කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනය වන මූලික අධ්‍යන ආයතනයේ අධ්යක්ෂවරයා ලෙසද මහාචාර්ය පොන්නම්පෙරුම මහතා කටයුතු කර ඇති බව ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
Professor Cyril Ponnamperuma Source: Getty Images
අභ්‍යවකාශ නීතියේ පසුපස සිටි ශ්‍රී ලාංකිකයා
අභ්‍යවකාශ තාක්ෂණය යනු සුවිශේෂී තාක්ෂණයකි.
නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වැනි සියලු තාක්ෂණ ක්‍රියාත්මක වීමේදී නීති රීති අවශ්‍යවනවා සේම අභ්‍යවකාශ තාක්ෂණයටද නීති අවශ්‍ය බව ඉංජිනේරු සනත් පනාවැන්න මහතා පැවසීය.
නමුත් මෙය ඉතා සංකීර්ණ එකක් බවද ඔහු සඳහන් කළේය.
අභ්‍යවකාශය ලෝකයේ කිසිදු රටක අණසකට යටත් නොවීම ඊට හේතුව බව ඔහු පැහැදිලි කළේය.
එනිසාම අභ්‍යවකාශය, ගෝලීය පොදු සම්පතක් ලෙස හඳුන්වයි.
සන්නිවේදන කටයුතු සඳහා අභ්‍යවකාශය යොදාගැනීම, චන්ද්‍රිකා මගින් පෘථිවිය නිරීක්ෂණය කිරීම, ඒවායින් ලබාගන්නා දත්ත සැලසුම් කටයුතු සඳහා යොදාගැනීම, ගගන නාවුක පද්ධතිය සඳහා චන්ද්‍රිකා යොදාගැනීම, චනද්‍රිකා සහ අභ්‍යවකාශයානා කක්ෂ ගත කිරීම වැනි ක්‍රියා සඳහා ජාත්‍යන්තර නීති අවශ්‍ය විය.
මෙම නීති සම්පාදනය කරන අභ්‍යවකාශයේ සාමාකාමී භාවිතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සභාව සහ එහි ලේකම් කාර්යාලයේ සුවිශේෂී කාර්යභාරයක් නන්දසිරි ජසෙන්තුලියන මහතා විසින් සිදු කර තිබෙන බව ඉංජිනේරු සනත් පනාවැන්න මහතා පැවසීය.
ඔහු United Nations Office for Outer Space Affairs හි අධ්යක්ෂවරයා ලෙස වසර 11 ක් සේවය කර තිබේ.
එමෙන්ම අභ්‍යවකාශ නීති ශක්තිමත් කිරීම සඳහා එතුමා සුවිශේෂී දායකත්වයක් ද ලබා දී ඇති බව පනාවැන්න මහතා සඳහන් කළේය.
ඊට අමතරව අභ්‍යකාශ නීතිය සංවර්ධනය කිරීම සඳහා නන්දසිරි ජසෙන්තුලියන මහතා දැක්වූ දායකත්වය නිසා ඔහුව International Institute of Space Law (IISL) ආයතනයේ යාවජීව සභාපති ලෙස පත් කර ඇති බවද කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
** මෙම තොරතුරු රැගත් සාකච්චාව පහත ලින්ක් එකෙන්