ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ව රැකියා කිරීමේදී සූරාකෑම වැළක්වීම සඳහා නව නීති යෝජනා කර තිබේ.
ඒ අනුව සංක්‍රමණික සේවකයින්ව සූරාකන හාම්පුතුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඒ හරහා හැකිවනු ඇත.
Highlights
- මේ වසරේ අග භාගය වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් හඳුන්වාදීමට සූදානම් වේ.
- මෙම නව නීති යටතේ සංක්‍රමණික සේවකයින්ට ඔවුන්ගේ රැකියා ආශ්රිත වීසා කොන්දේසි උල්ලංඝනය වන රාජකාරී භාර ගැනීමට බල කිරීම වරදකි.
- සංක්‍රමණික සේවකයින්ට වැඩ භාර ගැනීමට බලපෑම් කිරීම සඳහා වීසා අවශ්‍යතා භාවිතා කිරීම වරදක් ලෙස ද මෙම යෝජිත පනත් කෙටුම්පතේ දක්වා තිබේ.
සංක්‍රමණික සේවකයින්ව සූරාකෑමට එරෙහිව නව නීති
සංක්‍රමණික සේවකයින්ව සූරාකෑමට එරෙහිව නව නීති සැකසීම සඳහා උපදෙස් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් නව පනත් කෙටුම්පතක් එළිදක්වා තිබේ.
වීසා බලපත්‍ර මත සිටින සේවකයින්ව ආරක්ෂා කිරීම සඳහා නව අපරාධ වරදවල් සහ සිවිල් දඬුවම් ඒ හරහා යෝජනා කර ඇත.
මේ වසරේ අග භාගය වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් හඳුන්වාදීමට සූදානම් වන අතර ඊට පෙර සංක්‍රමණික සේවකයින් සූරාකෑම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් දැඩි නීති ස්ථාපනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය උත්සාහ කරයි.
මෙම යෝජිත පනත් කෙටුම්පත මගින් අදාළ සේවකයින්ට වැටුප් අඩුවෙන් ගෙවීම් සහ වෙනත් සූරාකෑමේ පිළිවෙත් පිළිගත නොහැකි බවටත් එය අනුමත නොකරන බවටත් ප්‍රබල පණිවිඩයක් නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
"බහුතරයක් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ හාම්පුතුන් නිවැරදි දේ කරන බව අපි දන්නා නමුත් සුළු පිරිසක් සංක්‍රමණික සේවකයින්ව සූරාකෑමට ලක් කරනවා." යනුවෙන් ඔහු සඳහන් කළේය.
සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන අඩු වැටුප් ගෙවීම් සහ දුර්වල සේවක පහසුකම් පිළිබඳව වෘත්තීය සමිති නිරන්තරයෙන් අනතුරු අඟවා තිබේ.
The Migrant Workers Centre aims to get workers on temporary and permanent visas to learn more about their rights on the job. Source: AAP
යෝජිත නව නීති යටතේ සිදුවන දේ
මෙම යෝජිත නව නීති යටතේ සංක්‍රමණික සේවකයින්ට ඔවුන්ගේ රැකියා ආශ්රිත වීසා කොන්දේසි උල්ලංඝනය වන රාජකාරී භාර ගැනීමට බල කිරීම වරදකි.
සංක්‍රමණික සේවකයින්ට වැඩ භාර ගැනීමට බලපෑම් කිරීම සඳහා වීසා අවශ්‍යතා භාවිතා කිරීම ද වරදක් ලෙස මෙම යෝජිත පනත් කෙටුම්පතේ දක්වා තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පනතේ (Migration Act) හෝ 2009 Fair Work (Fair Work Act 2009) පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති ඇතැම් හාම්පුතුන්ට නිශ්චිත කාලයක් සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අමතර සේවකයින්ව සේවයේ යෙදවීම ද මේ හරහා තහනම් කරනු ඇත.
මෙම පනත් කෙටුම්පත මගින් ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකායට හාම්පුතුන් සහ ව්‍යාපාර සමඟ කටයුතු කිරීමට වැඩි ශක්තියක් ලබාදෙනු ඇත.
ඊට අමතරව සංක්‍රමණ පනතේ රැකියාවේ රාජකාරී සම්බන්ධ විධිවිධාන උල්ලංඝනය කිරීම සඳහා සිවිල් දඬුවම්ද මෙහිදී වැඩි කරනු ඇත.
මේ පිළිබඳ සිදුකරන උපදෙස් ගැනීම් සහ සාකච්ඡා 2021 අගෝස්තු 16 න් අවසන් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
නව කෘෂිකාර්මික වීසා
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ASEAN රටවල් 10 ක් සඳහා නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.
තායිලන්තය, කාම්බෝජියාව, බෘනායි, මියන්මාරය. පිලිපීනය, මැලේසියාව, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල සඳහා මෙම නව කෘෂිකාර්මික වීසා හිමිකරදෙයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud ට අනුව මෙම නව වීසා මේ වසරේ අග භාගය වන විට නිකුත් කිරීම ආරම්භ කෙරේ.