ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් බරපතල සටනක නිරතවන ශ්‍රී ලාංකික දමිළ පවුලට අද (24/01) දිනයේ ඔස්ට්‍රේලියානු Federal Circuit අධිකරණයෙන් සුබ තීන්දුවක් ලැබුණු බව වාර්තා වේ.
එම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු හට තවදුරටත් bridging වීසා සඳහා අයදුම් කිරීම වැළැක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ගේ තීරණය ක්‍රියා පටිපාටිමය වශයෙන් අසාධාරණ බව අධිකරණය තීරණය කර ඇත.
Highlights
- ඔස්ට්‍රේලියානු Federal Circuit අධිකරණය අද ලබාදුන් තීන්දුවට අනුව මෙම මුරුගප්පන් පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට දැන් bridging වීසා සඳහා නැවත අයදුම් කිරීමට විකල්පයක් ඇත.
- අද දින අධිකරණය දුන් තීන්දුව මෙම මුරුගප්පන් පවුලේ බාල දියණිය වන Tharnicaa ට අදාළ නොවීය.
- මෙම පවුලේ පියා වන Nades සහ මව වන Priya 2012 සහ 2013 වසරවල වෙන වෙනම නීති විරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි බව සඳහන්.
මුරුගප්පන් පවුලට තවදුරටත් bridging වීසා සඳහා අයදුම් කිරීමට අවසර
ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් වසර ගණනාවක් පුරාවට අරගලයක නිරතව සිටින මෙම මුරුගප්පන් පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට දැන් bridging වීසා සඳහා නැවත අයදුම් කිරීමට විකල්පයක් ඇති බව ඔවුන්ගේ නීතීඥවරිය වන Carina Ford පැවසුවාය.
ඔස්ට්‍රේලියානු Federal Circuit අධිකරණය අද (24/01) ලබාදුන් තීන්දුවට අනුව මුරුගප්පන් පවුලේ bridging වීසා බලපත්‍ර අවලංගු කිරීමේ ඕනෑම තීරණයක් නැවත සලකා බැලිය යුතු බව ඇය පැවසුවාය.
පසුගිය වසරේ ජුනි මාසයේදී මෙම පවුලේ වැඩිමහල් සාමාජිකයින් තිදෙනා හට එනම් පියා වන Nades, මව වන Priya සහ වැඩිමහල් දියණිය වන Kopika හට යළි bridging වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීම වැළක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පියවර ගත්තේය.
නමුත් ඉන් සතියකට පසුව අමාත්‍ය Alex Hawke විසින් අදාළ තිදෙනා හට මාස 12 ක bridging වීසා බලපත්‍ර නිකුත් කළ නමුත් සිව් හැවිරිදි වියෙහි පසුවන බාල දියණිය වන Tharnicaa හට වීසා බලපත්‍රයක් නිකුත් නොකළේය.
The Murugappan couple Priya and Nadesalingam with their Australian-born children Kopika and Tharunicaa. Source: Supplied
ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට කරන දීර්ග කාලීන අරගලය
අද දින අධිකරණය දුන් තීන්දුව මෙම මුරුගප්පන් පවුලේ බාල දියණිය වන Tharnicaa ට අදාළ නොවීය.
එම සිව් හැවිරිදි දැරිය වෙනුවෙන් ගොනු කළ අභියාචනය ඔස්ට්‍රේලියානු මහාධිකරණය විසින් පසුගිය අගෝස්තු මාසයේදී ප්‍රතික්ෂේප කර තිබීම ඊට හේතුව වේ.
මෙම පවුල පිළිබඳ ගන්නා මීළඟ පියවර කුමක්ද යන්න තීරණය කිරීම දැන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සතු බව ඔවුන්ගේ නීතීඥවරිය වන Carina Ford පැවසුවාය.
"ඔවුන්ට අභියාචනා කිරීමට තෝරා ගත හැකියි, නැතහොත් එය එලෙසම තැබීමට හැකියි. පසුව bridging වීසා බලපත්‍රයක් අලුත් කිරීම සඳහා අවස්ථාවක් පවුලට විවෘත බව එහි අදහසයි." යනුවෙන් ද Carina Ford, SBS පුවත් වෙත පැවසුවාය.
එමෙන්ම මෙම නඩුවේ පවතින කතාව නොකඩවා කරගෙන යාම දෙපාර්ශවයේම අවශ්‍යතාවයක් දැයි සලකා බැලීමට රජයට ද විවෘතව පවතින බව ඇය සඳහන් කළාය.
අද දිනයේ අධිකරණය දුන් තීන්දුව කෙසේවෙතත්, මෙම පවුලේ වැඩිමහල් සාමාජිකයින් තිදෙනා හට ලබා දී ඇති bridging වීසා බලපත්‍ර මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත්වන බැවින් ඔවුන්ගේ අනාගතය යළිත් අවිනිශ්චිත වන බව සඳහන්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
අද ලබාදුන් අධිකරණ තීන්දුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට වැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ හරහා මුරුග්ප්පන් පවුලට වීසා ලබාදී ඔවුන්ට නැවත ඔවුන් සිටි ක්වීන්ස්ලන්තයේ Biloela වෙත යාමට හැකි වනු ඇති බවත් ඔවුන්ගේ නීතීඥවරිය වන Carina Ford විශ්වාසය පළ කළාය.
මෙම පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා 600,000 කට අධික පිරිසක් පෙත්සමකට අත්සන් කර ඇති බවද වාර්තා වේ.
Australian Immigration Minister Alex Hawke. Source: AAP
මුරුගප්පන් පවුල
මෙම පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.
2012 සහ 2013 වසරවල ඔවුන් දෙදෙනා වෙන වෙනම නීති විරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි බව සඳහන්.
Nades Murugappan ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ වූ අයෙකු බවට SBS පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.
ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද පස් හැවිරිදි Kopika සහ තුන් හැවිරිදි Tharnicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.
හදිසි නඩු විභාගයකින් මෙම දමිළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අවහිර කිරීමෙන් අනතුරුව මොවුන් 2019 අගෝස්තු මාසයේ සිට Christmas දූපතේ රඳවා තිබුණු අතර Tharnicaa ගේ අසනීප තත්ත්වයෙන් ඔවුන් එයින් මුදවා පර්ත් නුවරට යොමු කර තිබේ.
Tharnicaa උපත ලැබීමට පෙර ඇගේ දෙමාපියන් protection visa හෙවත් ආරක්ෂිත වීසා සඳහා ඉල්ලුම් කළ නමුත් එය අසාර්ථක විය.
මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් සෑම උපක්රමයක්ම භාවිතා කළ බවට එවකට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සහ වත්මන් ආරක්ෂක අමාත්‍ය Peter Dutton පසුගිය වසරේදී චෝදනා කර තිබුණි.
තම පවුල ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් විවිධ පීඩාවන්ට මුහුණ දීමට සිදුවන බව මුරුගප්පන් පවුල පවසා ඇති නමුත් මොවුන්ව කිසි විටෙකත් ඔස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචි නොකරනු ඇතැයි රජය ප්‍රකාශ කර තිබේ.