"මම ඉපදුණේ සහ හැදුනේ වැඩුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. මම මෙල්බර්න් නුවර Latrobe සහ Monash විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබුවා. මම වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රිකට් සෙල්ලම් කළා. එතනදී මම නිවාඩුවකට ලංකාවට ගිහින් ආවට පස්සේ ක්‍රිකට් පිති හැදුවොත් හොඳයි කියලා මට අදහසක් ආවා." යනුවෙන් සහන් දික්මාදුගොඩගේ SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
සහන් දික්මාදුගොඩගේ යනු ICC අනුමැතිය ලත් ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ක්‍රිකට් පිති නිෂ්පාදකවරයා වේ.
ඔස්ට්‍රේලියාවේ ඉපදී හැදී වැඩුනත් ICC අනුමැතිය ලබා ක්‍රිකට් පිති හදන්න ලංකාවට ගිය ඔහුගේ කතාව මෙතැන් සිට දිග හැරෙයි.
Highlights
- ක්‍රිකට් පිති නිපදවා සාධාරණ පහසු මිලකට ලබා දීමට හැකි නිසා ලංකාවට ගොස් ක්‍රිකට් පිති නිෂ්පාදනය ආරම්භ කළ යුතු බව සහන් තීරණය කළේය.
- ක්‍රිකට් පිති නිෂ්පාදනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සොයන අතරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රිකට් පිති නිෂ්පාදකයින් වෙත ගොස් ඒ පිළිබඳ ප්‍රයෝගික දැනුම ලබාගැනීමට සහන් කටයුතු කළේය.
- සාමාන්‍යයෙන් එක ක්‍රිකට් පිත්තක් නිපදවන්න දින දෙක තුනක් පමණක් ගතවන බවද සහන් පැහැදිලි කළේය.
ක්‍රිකට් පිති හදන්න කියලා මුලින්ම හිතුන විදිය
"මම 2017 දී නිවාඩුව ගත කරන්න ලංකාවට ආවා තනියම. එහිදී මම ක්‍රිකට් භාණ්ඩ බලන්න ලංකාවේ ක්‍රිකට් භාණ්ඩ වෙළෙඳ සැල් වලට ගියා. එතනදී මට තේරුණා ලංකාවේ ක්‍රිකට් පිති ගොඩක් මිල අධිකයි කියලා. ඒ දවස්වලත් රුපියල් 80,000 ට 90,000 ට වගේ තමයි හොඳ ක්‍රිකට් පිත්තක් ගන්න තිබ්බේ. ලංකාවේ ඇයි මෙච්චර ක්‍රිකට් පිති මිලෙන් අධික කියල හිත හිතා මම ආපහු ඔස්ට්‍රේලියාවට ආවා." ක්‍රිකට් පිති නිෂ්පාදනය කරන්න මුලින්ම තමන්ට අදහස පැමිණි ආකාරය ඒ අයුරින් SBS සිංහල ගුවන් විදුලියට සහන් විස්තර කළේය.
අනතුරුව ඔහු ක්‍රිකට් පිති නිෂ්පාදනය කිරීම සම්බන්ධව බොහෝ තොරතුරු සොයන්නට පටන් ගත් අතර ලංකාවේ ක්‍රිකට් පිති නිෂ්පාදනය නොකරන බව එහිදී ඔහුට දැනගන්නට ලැබුණි.
තමාට ක්‍රිකට් පිති නිපදවා සාධාරණ පහසු මිලකට ලබා දීමට හැකි බව සහන් කල්පනා කළ නිසා ලංකාවට ගොස් ක්‍රිකට් පිති නිෂ්පාදනය ආරම්භ කළ යුතු බව ඔහු තීරණය කළේය.
Sahan Dikmadugodage Source: Supplied: Sahan Dikmadugodage
මුලින්ම ක්‍රිකට් පිති නිෂ්පාදනය කළ අයුරු
ක්‍රිකට් පිති නිෂ්පාදනය සම්බන්ධයෙන් තමන් බොහෝ තොරතුරු සොයන අතරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රිකට් පිති නිෂ්පාදකයින් වෙත ගොස් ඒ පිළිබඳ ප්‍රයෝගික දැනුම ලබාගැනීමට සහන් කටයුතු කළේය.
2017 වසරේ අගෝස්තු මාසයේදී සහන් මුල්වරට ක්‍රිකට් පිති නිෂ්පාදනය කළේය.
එම ක්‍රිකට් පිති ක්‍රිකට් ක්‍රීඩා කරන තම යහළුවන්ට සහ අනෙකුත් ක්‍රිකට් සම්බන්ධ පුද්ගලයින්ට ලබාදී ප්‍රතිචාර ලබාගැනීමට සහන් උත්සාහ කළේය.
එහිදී ඔවුන් සැමගෙන්ම ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබුණු නිසා තමන් මෙම කාර්යයට අත ගැසූ බවත් ඔහු පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පිති නිෂ්පාදනය සඳහා විශාල තරගයක් ඇති නමුත් ලංකාවේ ක්‍රිකට් පිති නිෂ්පාදකයකු නොමැති නිසා එහි ක්‍රිකට් පිති නිෂ්පාදනය කිරීමට අදහස් කළ බවත් ඔහු SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ක්‍රිකට් පිති නිපදවන්න අමුද්‍රව්‍ය සොයා ගැනීම
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිති නිෂ්පාදනය කිරීම සඳහා සියලුම ප්‍රධාන අමුද්‍රව්‍ය එක්සත් රාජධානියෙන් ආනයනය කරන බව සහන් පැවසීය.
ක්‍රිකට් පිති නිෂ්පාදනය කිරීම සඳහා බහුලවම යොදාගනු ලබන්නේ English Willow නැමති දැව වර්ගය වන අතර එය ප්‍රධාන වශයෙන් එංගලන්තයේ පමණක් වැවෙන බව සහන් සඳහන් කළේය.
ක්‍රිකට් පිති සඳහා අවශ්‍ය නූල් වැනි දේවල් ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා බවත් ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් එක ක්‍රිකට් පිත්තක් නිපදවන්න දින දෙක තුනක් පමණක් ගතවන බවද ඔහු අපිට පැහැදිලි කළේය.
Source: Supplied: Sahan Dikmadugodage
ක්‍රිකට් පිති වර්ගීකරණය කිරීම
ලෝකයේ ක්‍රිකට් පිති Grade 1,2,3,4 සහ 5 යනුවෙන් ප්‍රධාන වර්ගීකරණ 5 කට බෙදා තිබෙන බව සහන් අප වෙත පැවසුවේය.
ක්‍රිකට් පිති සඳහා දැව සපයන සැපයුම්කරුවන් එම වර්ගීකරණය ලබාදෙන අතර එම දැව වල සවි ශක්තිය අනුව වර්ගීකරණය වෙනස් වේ.
එහිදී Grade 1 ඛාණ්ඩය හොඳම ක්‍රිකට් පිත්ත වන අතර Grade 5 ඛාණ්ඩය කුඩා ළමුන් සඳහා නිෂ්පාදනය කරන බව ද සහන් පැවසීය.
Sahan Dikmadugodage Source: Supplied: Sahan Dikmadugodage
ICC අනුමැතිය ලබාගත් අයුරු
"මම මුලින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගිහින් කිව්වා මම ක්‍රිකට් පිති හදනවා, මට ඕනේ ඒවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ට, ක්‍රීඩිකාවන්ට දෙන්න, එතනදී ඔවුන් කිව්වා එහෙම කරන්න නම් මගේ නිෂ්පාදන වලට ICC අනුමැතිය අරගන්න ඕනේ කියල. මට ICC යේ අනුමැතිය ගන්න අදාළ විස්තර ටික ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන්නා." තමන්ගේ ක්‍රිකට් පිති සඳහා ICC අනුමැතිය ලබාගැනීමට ගිය ගමනේ පළමු අදියර පිළිබඳ සහන් SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළේ ඒ අයුරිනි.
ICC අනුමැතිය ලබාගැනීම සඳහා විවිධ සාක්ෂි රාශියක් පෙන්වීමට අවශ්‍ය බව ද සහන් පැවසුවේය.
එහිදී ක්‍රිකට් පිති නිෂ්පාදනය කිරීමට වෙනමම කර්මාන්ත ශාලාවක් තිබිය යුතු වීම ප්‍රධාන අවශ්‍යතාවක්,
කර්මාන්ත ශාලාවේ ඡායාරුප, දැනට ක්‍රිකට් පිති අලෙවියේ විස්තර, ක්‍රිකට් පිත්තක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වීඩියෝ කර ICC යට යැවීම වැනි අවශ්‍යතා එහිදී සැපිරිය යුතු වේ.
ICC අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත්‍රය සැකසීමට පමණක් සහන්ට මාස තුනක පමණ කාලයක් ගතවූ බව ද අපට සඳහන් කළේය.
ඉන් මාස 4 කට පමණ පසුව සහන්ට ICC අනුමැතිය හිමිවිය.