ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් බරපතල සටනක නිරතවන ශ්‍රී ලාංකික දමිළ පවුලේ සිව් හැවිරිදි දැරිය වෙනුවෙන් ගොනු කළ අභියාචනය ඔස්ට්‍රේලියානු මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි මෙම පවුලේ දෙමාපියන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාව තුළදී දැරියන් දෙදෙනෙකු ලැබුණි.
Highlights
- මෙම පවුලේ බාල දියණිය වන Tharnicaa Murugappan වෙත protection වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් සොයන ඇයගේ නීතිඥවරුන් කළ අභියාචනය මහාධිකරණය අද (12/08) ප්‍රතික්ෂේප කළේය.
- Tharnicaa සහ ඇයගේ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට එරෙහි සටනේ තවත් එක් උත්සහයක් ලෙස මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
- Tharnicaa උපත ලැබීමට පෙර ඇගේ දෙමාපියන් protection visa හෙවත් ආරක්ෂිත වීසා සඳහා ඉල්ලුම් කළ නමුත් එය අසාර්ථක විය.
බාල දියණියගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි
මෙම පවුලේ බාල දියණිය වන Tharnicaa Murugappan වෙත protection visa හෙවත් ආරක්ෂිත වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් සොයන ඇයගේ නීතිඥවරුන් කළ අභියාචනය මහාධිකරණය අද (12/08) ප්‍රතික්ෂේප කළේය.
Tharnicaa සහ ඇයගේ වැඩිමහල් සොයුරිය මෙන්ම නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි ඇයගේ දෙමාපියන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට එරෙහි සටනේ තවත් එක් උත්සහයක් ලෙස මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම පිණිස වූ ආරක්ෂක වීසා බලපත්‍රයක් සඳහා වන Tharnicaa ගේ අයදුම්පත සලකා බැලීමේදී සාධාරණත්වයක් ලබා නොදුන් බවට කලින් දුන් තීන්දුවක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී තහවුරු කළේය.
කෙසේ වෙතත්, Tharnicaa 2019 දී වලංගු වීසා බලපත්‍ර අයදුම්පතක් ඉදිරිපත් නොකළ බවට අධිකරණය දුන් තීන්දුවක් ද එහිදී තහවුරු කළ අතර අදාළ පවුල ඒ සම්බන්ධයෙන් මහාධිකරණයට අභියෝග කිරීමට උත්සාහ කළේය.මේ අතර පසුගිය ජුනි මාසයේදී මෙම පවුලේ වැඩිමහල් සාමාජිකයින් තිදෙනා හට මාස තුනකට bridging visa ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke තීරණය කළේය.
An earlier photo of the detained Tamil family from Biloela. Source: Supplied
එවකට Tharnicaa හට රුධිර ආසාදනයක් ඇතිවීම හේතුවෙන් ඇයව පර්ත් ළමා රෝහලට ඇතුළත් කළ අතර ඇයගේ මව වන ප්‍රියා ද ඇය සමග Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිට පර්ත් ළමා රෝහල වෙත ගෙන ආවේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඉන් අනතුරුව Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි Tharnicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරියද පර්ත් නුවරට ගෙන ආවේ බාල දියණිය ගේ අසනීප තත්ත්වය හේතුවෙනි.
bridging visa ලබා දීමට එය හේතුවක් වූ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
කෙසේවෙතත්, මෙම පවුලට තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින නීතිමය ගැටළු කිහිපයක් පවතින බැවින් අද මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් පසුව තවදුරටත් අදහස් දැක්වීම නුසුදුසු බව ද ඔහු ප්‍රකාශ කළේය.
Immigration Minister Alex Hawke Source: AAP Image/Lukas Coch
සරණාගත ශ්‍රී ලාංකික දමිළ පවුල
මෙම දමිළ පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.
Nades Murugappan ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ වූ අයෙකු බවට SBS පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.
ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද පස් හැවිරිදි Kopika සහ තුන් හැවිරිදි Tharnicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.
හදිසි නඩු විභාගයකින් මෙම දමිළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අවහිර කිරීමෙන් අනතුරුව මොවුන් 2019 අගෝස්තු මාසයේ සිට Christmas දූපතේ රඳවා තිබුණු අතර Tharnicaa ගේ අසනීප තත්ත්වයෙන් ඔවුන් එයින් මුදවා පර්ත් නුවරට යොමු කර තිබේ.
Tharnicaa උපත ලැබීමට පෙර ඇගේ දෙමාපියන් protection visa හෙවත් ආරක්ෂිත වීසා සඳහා ඉල්ලුම් කළ නමුත් එය අසාර්ථක විය.
මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් සෑම උපක්රමයක්ම භාවිතා කළ බවට එවකට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සහ වත්මන් ආරක්ෂක අමාත්‍ය Peter Dutton පසුගිය වසරේදී චෝදනා කර තිබුණි.