ගෙවී යන මෙම මැයි මාසය ඔස්ට්‍රේලියාව තුළ ජාතික ගෘහස්ථ හා පවුල් හිංසනය වැළැක්වීමේ මාසය ලෙස හැඳින්වේ.
මෙහිදී ගෘහස්ථ හා පවුල් හිංසනය පිළිබඳ විව්ධාකරයේ දැනුවත් කිරීම් ඔස්ට්‍රේලියාව පුරාම සිදුකරමින් සිටියි.
පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය අතර ඇති වෙනස්කම මෙන්ම එවැනි හිංසන ඇති වීමට හෝ ඇතිවන බවට පෙරාතුව දැනුම් දෙන පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳව දැන් අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.
මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාවක් අසුරන් මෙම ලිපිය සැකසේ.
Highlights
- පවුල් හිංසනය යනු පවුල් සංස්ථාව තුළ ජීවත්වන සාමාජිකයෙක් එම පවුල් සංස්ථාව තුළ සිටින තවත් සාමාජිකයෙක් අතින් අපහරණයට හෝ හිංසාවට පත්වීම වේ.
- වෛවාහක සම්බන්ධයක් පවත්වන හෝ ඒ හා සමාන දිගු කාලීන ඇසුරක් පවත්වන පාර්ශව දෙකක් අතරින් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට හිංසාකාරී අන්දමින් හැසිරීම ගෘහස්ථ හිංසනය ලෙස හැඳින්වේ.
- පවුල් හිංසනයට හෝ ගෘහස්ථ හිංසනයට භාජනය වී සිටින පුද්ගලයින්ගේ කැපී පෙනෙන වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හැකිය.
පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය අතර ඇති වෙනස
පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය යන ද්විත්වයම ඔස්ට්‍රේලියාව තුළ අපරාධ වරදක් ලෙස සලකයි.
පවුල් හිංසනය යනු පවුල් සංස්ථාව තුළ ජීවත්වන සාමාජිකයෙක් එම පවුල් සංස්ථාව තුළ සිටින තවත් සාමාජිකයෙක් අතින් අපහරණයට හෝ හිංසාවට පත්වීම බව මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
දෙමාපියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන්, සමීපතම ඥාතීන්, Carers හෝ Guradians වැනි පවුලේ පුද්ගලයෙකු ලෙස සලකන පුද්ගලයින් පවුල් සංස්ථාවට අයත් වේ.
වෛවාහක සම්බන්ධයක් පවත්වන හෝ ඒ හා සමාන දිගු කාලීන ඇසුරක් පවත්වන (de facto relationship) පාර්ශව දෙකක් අතරින් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට හිංසාකාරී අන්දමින් හැසිරීම ගෘහස්ථ හිංසනය ලෙස දැක්වෙන බව ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය පැවසුවාය
On average a woman in Australia dies every nine days at the hands of their current or former partner. Source: AAP
හිංසන වර්ග
- ශාරීරික හිංසනය - තල්ලු කිරීම්, පහර දීම්, හුස්ම හිර කිරීමට යාම්
- ලිංගික හිංසනය - බලහත්කාරයෙන් ලිංගික කටයුතු වලට පෙළඹවීම, දූෂණය කිරීම, බලහත්කාරයෙන් අසභ්‍ය දර්ශන නැරඹීමට පෙළඹවීම හෝ ඒ හා සමාන හැසිරීම්
- දේපළ හානි කිරීම - යම් පුද්ගලයෙකු සතු භාණ්ඩ වලට හානි කිරීම හෝ ඒ හා සමාන හැසිරීම්
- ආර්ථිකමය හිංසනය - යම් පුද්ගලයෙකුගේ මුදල් එම පාර්ශවයේ කැමැත්තට එරෙහිව පාලනය කිරීම, බලහත්කාරයෙන් යමෙකුගෙන් මුදල් ලබා ගැනීම හෝ ඊට උත්සහ කිරීම හෝ යම් පාර්ශවයකට ලබා දීමට බල කිරීම, යම් පුද්ගලයෙකු රැකියාවල නිරත වීම වැළක්වීම, ණය මුදල් ලබාගැනීමට බල කිරීම, මුලාවෙන් ණය මුදල් ලබා ගැනීමට සැලැස්වීම
- මානසික හිංසනය - යම් පාර්ශවයක් හුදකලා කිරීම, උපකාර කිරීමට කිසිවෙකු නැති බව ඒත්තු ගැන්වීම, ආරක්ෂාව පිළිබඳ බිය වැද්දවීම, යන එන ස්ථාන නිරීක්ෂණය කිරීම.
- සාමාජීය හිංසනය - ලිංගික අනන්‍යතාව පිළිබඳ අපහාස කිරීම, දුරකතන හෝ ඊමේල් හෝ සමාජ මාධ්‍ය ජාල හරහා හෝ හිංසාකාරී පණිවිඩ යැවීම, යම් අයෙකුගේ අන්තර්ජාලය භාවිතා කිරීම නිරීක්ෂණය කිරීම
- තර්ජනය කිරීම්
- අයථා පාලනය හෝ යටපත් කරගැනීම
- අධික ලෙස බියවැද්දීම්
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
Early Warning Signs
පවුල් හිංසනයට හෝ ගෘහස්ථ හිංසනයට භාජනය වී සිටින පුද්ගලයින්ගේ කැපී පෙනෙන වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හැකි බව මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
පවුල් හිංසනයට හෝ ගෘහස්ථ හිංසනයට භාජනය වී සිටින වැඩිහිටියෙකුගෙන් පහත සඳහන් නිරීක්ෂණ ප්‍රධාන වශයෙන් දක්නට හැකි බව ඇය සඳහන් කළාය.
- තමන් පිළිබඳ දැඩි අනාරක්ෂිතභාවයකින් සිටීම.
- දැඩි නිශ්ශබ්දතාවක් පෙන්නුම් කිරීම.
- වෙනදා හමුවන යහළුවන් හමුවීම නතර කරන ස්වභාවයක් පෙන්වීම.
- ශාරීරික තුවාල, තැලීම්, සීරීම්, කැපීම්, බිඳුණු අස්ථි වැනි දේවල් පෙනීමට තිබීම.
- නිදාගැනීමේ අසීරුතා තිබීම.
- තමා පිළිබඳ විශ්වාසයක් නැති බවක් පෙන්වීම.
- සැමවිටම හුදකලා වීමට කැමැත්තක් දැක්වීම.
- කලබලකාරී ගති ලක්ෂණ පෙන්නුම් කිරීම.
පවුල් හිංසනයට භාජනය වී සිටින දරුවකුගෙන් පහත සඳහන් නිරීක්ෂණ ප්‍රධාන වශයෙන් දැකිය හැකිය.
- අනුන්ගේ අඩන්තේට්ටන් වලට ලක්වීම.
- අන් අයට අඩන්තේට්ටන් කිරීමට පෙළඹීම.
- නිරතුරුවම බඩ, ඔලුව රිදීම.
- අධ්‍යාපන කටයුතුවල දැඩි ලෙස පසුගාමී වීම.
- තමන්ට හානි කරගැනීම.
- මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීම.
- තමන්ගේ වයසට නොගැලපෙන වචන භාවිතා කිරීම.
- තමන්ගේ වයසට නොගැලපෙන ලිංගික හැසිරීම් පිළිඹිබු කිරීම.